පෙර වසරවල් වලදී හැටන් සහ කුරුවිට පාරවල් වලින් අවසන් කල අප මෙවර තෝරාගත්තේ තරමක් දුශ්කර යැයි පැවසෙන දෙහණකන්ද මුක්කුවත්ත මාර්ගයයි. මෙවැනි ගමන් සදහා ආරාධනය කර හොදින් අත්දැකීම් ඇති අප ගමන සදහා බොහෝ පිරිසකට ආරාධනා නොකලෙමු. පෙර අප කටුසුකොන්ද ගමනේ සාමජිකයන් සහ පාසල් මිතුරන් වන මයුරත් ශනිල්කත් මමත් මේ ගමනට එක්වීමු.
ශනිල්ක යනු රටපුරා නිතරම සංචාරය කරන මනා සූදානමකින් ගමන් සදහා එක්වන අයෙකි. ඔහුගේ මුහුනු පොත් ගිණුමෙන් ඒවාට අදාල ඡායාරූප ඔබටද නැරඹිය හැක. නමුත් මේ ගමන සදහා ඔහුගේ වෙනස් වීම සිතාගත නොහැකි විය. ගමන සදහා ඔහුගේ ප්‍රතිචාරය වූයෙ ගමන ඉතා භයංකර හා නොකළ යුතු එකක් යන්නයි. පසුව කරුණු විමසා සිටීමෙදි ඔහු අතින් මේ ඡායාරූපය උඩුගත විය.

මෙම සටහන කියවීමෙන් පසු ඔබ මෙන් මමද යම් චකිතයකින් පෙලිමි. නමුත් ඇසට නොපෙනෙන බලවේග ගැන මා හට ඇති විශ්වාසය ඉතාමත්ම නොගිනිය හැකි එකකි. යම් දිනක මම පාරේ හැප්පුනහොත් ඒ අද්භූත බලයකින් නොව මාගෙ හෝ අනෙක් රියදුරාගේ වැරැද්දකින් බව මම තරයේ විශ්වාස කරමි. එබැවින් මේ වදන් ගමන සදහා වූ උනන්දුව වැඩි කල අතර ශනිල්ක නම් වූ ඒ මහා සංචාරකයාගේ පරිච්චේදයද නිමාකරවීය.
දවස බ්‍රහස්පතින්දාය , ගමන සදහා ඉතිරි වූයෙ මමත් මයුරත්ය , මාගේ මෙන්ම මයුරගේත් එකගවීම පරිදි කුමන තත්වයන් යටතේ වුවද එලබෙන සෙනසුරාදා උදෑසන ගමන ආරම්භ කිරීමට තීරණය කලෙමු. ඒ සදහා අවශ්ය තොරතුරු මුහුණුපොත හා වෙනත් බ්ලොග් සටහන් යටතේ ලබාගත්තෙමු. වෙනත් පාරවල් වලට වඩා තොරතුරු සොයාගැනීම අපහසු වූයේ කලු දිවියාගේ ආගමනයත් සමග කිසිදු මුහුණුපොත් සංචාරක කණ්ඩායමකින්වත් ඊට අදාල පෝස්ට් අනුමත නොකිරීමයි.
අපගේ සැලැස්ම වූයේ සෙනසුරාදා උදෑසන ගමන ආරම්භ කර හැකි පමණ උදෑසනින් දෙහන කන්ද කෝවිල ලගට ගොස් ගමන ආරම්භ කිරීමය. ඉන්පසු සවස 5 හෝ ඊට ප්‍රතම වඩාත් ගැලපෙන තැනක කූඩාරම් ලා පසුවදා (ඉරිදා)
ගමන ආරම්භ කර සවස් යාමය වනවිට රත්නපුර මාර්ගය හරහා එක්වී මලුව වෙත යාමය. සදුදා පොහොය දිනයක් නිසා එය විවේක ගැනිමට වෙන් කිරීමත්ය
කතා කරගත් පරිදි සිකුරාදා දින මමත් මයුරත් ගමන සදහා අවශ්ය ආම්පන්න කිහිපයක් මිලදී ගත්තෙමු. මේ වනවිට ශනිල්කට ගමන සදහා තරමක උනන්දුවක් දැක්වුවද ඔහුගෙ සිතේ බිය ඔහුව නැවතත් පරාජය කරවන්නට සමත් විය.සිකුරාදා රාත්‍රියෙ මවිසින් පවත්වන ඉලෙක්ට්‍රොනික පන්තියද හමාර කොට අවසන් වරට ශනිල්කගේ කැමැත්ත විමසා රාත්‍රි12 පමණ නින්දට වැටුනෙ නිදාගැනීමට ඇති පැය 4 ගැන වේදනාවෙන් යුතුව සිහිකොටය.
සෙනසුරාදා....
උදෑසන ම අප නිවසට පැමිණි මයුරත් මමත් පෙ.ව. 5ට පමණ අප නිවසෙන් පිටත්වුනෙමු. එම වෙලාවට මාකෙවිටින් ගම්පහට ගොස් කොලඹට යෑමට වඩා ජා ඇලට ගොස් කොලඹට යෑම ප්‍රායොගික බැවින් බසයක් එනතුරු සිට කොළඹ බලා පිටත්වීමු.
උදෑසන 06 30 පමණ විට කොලඹට පැමිනි අප අවශ්ය කලමනාද රැගෙන උදෑසන 7 ට පමණ බලංගොඩ දක්වා දිවෙන බසයකට නැග රත්නපුරට ටිකට් මිලදී ගත්තෙමු .
ගමනේ පැයක් පමණ යනවිට දුරකතන ඇමතුමකි. අහෝ දුකකි ඉරකි තිතකි. ඇමතුම ශනිල්කගෙන්ය. එයින් කියවුනෙ ඔහු ගමන එනබවත් ඔහු එනතුරු රත්නපුර රෑදි සිටින ලෙසත්ය. මූ දැන් කොහොමහරි එන නිසාත් ආවත් බයෙන් නිසාත් උගෙ ක්‍රියා කලාපයට කට කැඩිච්ච ජොක්ස් සිදු නොකරන්නට සිතාගත්තෙමි. නමුත් ඔහු තවමත් කියන්නෙ ඉහත දක්වා ඇති චැට් එකට ඔහු භය නොවූ බවත් අගහරුවාදා රිපොට් සබ්මිට් බැවින් කලින් නොපැමිනිනෙන්නට තීරණය කල බවත්ය. ඇත්ත දන්නේ දෙයියන් පමණිය.
10.15 ට පමණ රත්නපුරට පැමිනි මමත් මයුරත් දෙහණකන්ද දක්වා දිවෙන බස් රතයක් පරික්ශා කල අතර බස් රථයක් නැවත ඇත්තෙ 10.50ට බැවින් ශනිල්ක එනතුරු අවශ්ය ආහාර සහ වෙනත් බඩුබාහිරාදිය මිලදි ගන්නට ගියෙමු.ඉන් පසු ශනිල්කගෙන් දුරකතන ඇමතුම් කිහිපයක් පැමිණි අතර අවසාන ඇමතුම තරමක් භයානක එකක් විය. ඒ ඔහු රත්නපුරට පැමිණි බවත් 10.50 බස් රථය දැන් පිටත්වන බවත්ය. හැකි වෙර යොදා බස් රථය අල්ලන්නට උත්සහ කරද ඒ උත්සහයන් ව්‍යාර්ථ විය. නැවත බස් රථයක් පැමිනෙන්නෙ 1.30ට බැවින්ද එදින සෙනසුරාදාවක් වූ නිසා එම බස් රථයද ශුවර් නැති බැවින් සපුගස්කන්ද බලා දිවෙන බස් රථයකට ගොඩවීමු.ඒ සපුගස්කන්දට ගොස් ( ඇත්තටම කිව්වොත් සපුගස්කන්දට එහා හෝල්ට් එක) ඉතිරි කොටස ත්‍රි රෝද රතයකින් යාමටය.
ගමනේදි හමුවු ත්‍රිරොද රථ දෙකක් ගැන විශේශයෙන් කිව යුතුය. පළමු එක නම් අප හට දෙහණකන්ද බස් රථය අල්ලා දීමට රත්නපුරින් ඉදිරිපත් වූ ත්‍රි රෝද රථයයි. බස් රථය ඇල්ලීමට නොහැකි වුවද ඔහු තමාගේ උපරිම වේගය සහ සහයෝගය අපට ලබාදුන් අතර එය කෙතරම්ද යත් වරෙක ඔහු මෙසේ පැවසීය." මල්ලී බෑග් ටික මැදට ගන්න , බර බැලන්ස් නෑ" . දෙමළ ජාතිකයෙකු වූ ඔහු අපහට බස් රතය මගහැරීමෙන් පසු ඉතිරි ආදේශක බස් රත ගැන උපදෙස් දුන් අතර අනෙක් ත්‍රි රොද රථ රියදුරා නම් සපුගස්තැන්න බස් රථයේදි ශනිල්ක විසින් අදුනාගත් වෑන් රථ රියදුරු ගේ මිත්‍රයායි. බස් රථයෙන් බැස ගත් විගස ඇමතුමකින් පවා තොරව ඔහු අප ලගට පැමිණ ඔහුගෙ මුදල ඉදිරිපත් කල අතර දෙහනකන්ද කෝවිළ අසලට ඔහුගේ මුදල රුපියල් 1200කි. ඔහුගේ මිල තරමක් වැඩි නිසා අප ඔහුව ප්‍රතික්ශේප කල අතර පසුව මගදි හමුවූ සීයා කෙනෙකුගෙන් දැනගන්නට ලැබුනේ එම ගාස්තුව රුපියල් 500-700ත් අතර වන බවය.
ත්‍රී රෝද රථයක් ගැනීමෙ අටියෙන් වතුකර ජනතාව ජීවත් වන ලැයිමක් පසු කර ඉහළ හන්දියක් කරා ගිය අපට ත්‍රී රොද රියක් එනතුරු තරමක සුලු කාලයක් බලා සිටි අතර ඒ අතරතුට දිවා ආහාරය ලෙස මයුර විසින් ගෙන ආ කඩල කෑවෙමු.
ඊ ලගට වූ සිදුවීම තවමත් මට ගණිතයේ ප්‍රවේග කාල හෝ වෙනත් සිද්ධාන්තයක් මගින් පැහැදිලි කල නොහැකි අතර ඒ සිදුවීම නම් අපට මග හැරුණු දෙහණකන්ද බස් රථය නැවත හමුවීමය. අපගේ ගම්පහා දාවනය වෙන බස් රථ මෙන් නොව මේ කදු වටා රවුම් ගනන් කැරකී කැරකී පැමිණින බැවින් එම සිදුවීම තව දුරටත් සිංහලෙම්ම ඇනලයිසිස් නොකරමි.
පටු පාරවල් මතින් දිවෙන දෙහණකන්ද බස් රථය
දෙහණකන්ද කෝවිල ලෙස කිවූ විට බස් රථය නවත්වන්නෙ මෙතනය. ඔබ මෙතනින් බැස ගත යුතුය.
දෙහනකන්ද කෝවිල
ඈතට පෙනෙන රත් කන්ද.ශ්‍රී පාදය කරුණා කිරීමට මෙම කන්ද තරණය කල යුතුය
ආරම්භක ස්ථානයට යන අතරතුර
අපට මගදී හමුවූ මිතුරන් කිහිපදෙනෙකි. එක් අයෙක් නම් එම ප්‍රදේශයේ තේ වතු පරිපාලනය සිදුකරන කංකානමය. ඔහු ඉතා සුහද අයෙක් වූ අතර ඔහුගේ උපදෙස වූයේ දැන් තරමක් රෑවී ඇති නිසා අද නැවතී හෙට ගමන් කරන ලෙසය. ඔහුගෙ ආයාචනය ප්‍රතික්ශේප කළ අප ඉදිරියට ගමන් කලෙමු. කංකානම එහිදී අප හට හදුන්වා දුන් කොලු ගැටයන් කිහිප දෙනෙකි. ඔවුන් අපට අමතක වූ භූමිතෙල් මිලදී ගැනීමට උදව් කල අතර කංකානමට අනුව ගමන පටන් ගන්න ස්ථානයට රැගෙන යාමට මොවුන් අයකරන මුදල රුපියල් 200කි. මාර්ගය ඉතා පැහැදිලි එකක් නිසා අපට මොවුන්ගේ සේවාව අවශ්‍ය නොවූ අතර නමුත් මොවුන් අප පසුපස පැමිනියෝය. මොවුන් හට මුදල් ලබා දීම මටත් ශනිල්කටත් වරදකාරී හැගීමක් ගෙනෙන්නක් වූ අතර ඒ නිසා අතර මග තිබූ කුඩා කඩයකින් බීම බෝතල් කිහිපයක් මිලදී ගෙන ලබා දුන්නෙමු.
ගමන ආරම්භ කරන ස්ථානයටම ආයාචනයකින් තොරව පැමිණි ඔවුන් අප හා මිත්‍ර වූහ . ඒ අතරතුර මගේ කැමරාව එහි සිටි අයෙකු බැලීමට ඉල්ලා ගත් අතර ඉහත ජායාරූප තුනම ඔහු විසින් ලබා ගත් ඒවාය. බුදු පිළිමය අසලින් අප පහළට ගොස් ඔවුන්ට සමු දුන්නෙමු. සියල්ලො විසිර ගිය අතර ටික වේලාවකින් කුඩා කොලු ගැටයෙකු පැමිණ කැඩුණු සිංහලෙන් "සල්ලි " යැයි කිවේය. ඇත්තවශයෙන්ම මේවා ඔහුගේ වචන නොවූ අතර මට සිතෙන ආකාරයට ඉහත ඡායාරූපයෙ රතු තොප්පියක් පැලදි කණ්ඩායෙමේ නායක ලෙසින් හැසිරුන කොලුවාගේය.
මා ඔවුන්ට මුදල් ලබා දීම ප්‍රතික්ශේප කලමුත් ශනිල්කගේ ඉල්ලීම මත යම් මුදලක් ලබා දුන්නෙමු. මෙම සිදුවීමෙන් ඔවුන් කෙරෙහි තිබුණු ප්‍රතිරූපය බිද වැටුනු අතර මගේ අදහස පෙර යම් දිනක යම් අයෙක් අනුකම්පාව උදෙසා මුදල් ලබා දීමත් අප විසින් එම සංස්කෘතිය පෝෂණය කිරීමත් , යම් දිනෙක දැනට ඇල්ල වැනි ප්‍රදේශ වල ඇති වන වංචා සදහා මූල බීජ වන බවයි.
බුදු පිළිමය අසලට එන අතරතුර
ශනිල්ක ඔවුන්ව මේ ආකාරයෙන් වාඩි වීම වැලැක්වීමට උත්සහ කලත් , මම එහි සුන්දරත්වයක් දුටිමි. එබැවින් ඡායාරූපයට නැගුවෙමු
ශනිල්කගේ go pro එකෙන් මං ලබාගත් එකක්. ඔය අතේ තියං ඉන්නෙ මගෙ කැමරාව
අන්සතු වූ කැමරාවේ සටහන්
ගමන ආරම්භයට බුදු පිළිමය අසලින් පහළට යා යුතුය
ප.ව. 2.45යි
ආරම්භයේදීම හමුවන රත් ගග

මෙහි ජලය ඉතා පිරිසිදු ඒවා වූ අතර එවා අපගේ බෝතල් වලට පුරවා ගත්තෙමු.

තරමක් අපැහැදිලි මාර්ගය
බාතිය දොල
රූස්ස ගස්
ගස් වැටුණු මාර්ගය මැදින් ඉදිරියට ඇදෙන මයුර
ප.ව 03.15
මෙතැනින් පසු ඡායාරූප ගැනීම මවිසින් නවතා දැමුණු අතර මූලීක හේතුව වූයේ ඡායාරූපයක් ගන්නට නවතින සෑම අවස්තාවකම සපත්තුවට ගොඩවන කූඩෑල්ලන්න්ය. පොලව මත කෙලින් සිටගෙන සිටින ඔවුන් නවතින සෑම අවස්තාවකම අවම වශ්යෙන් දෙදෙනෙකුවත් සපත්තුවට ගොඩවෙයි. මුලදී එකිනෙකා බැවින් ඉවත් කලද පසුව එහි නිමාවක් නැතිවිය. මගදී ඇගිලි අතර ඇති තෙත ගතිය පරික්ශා කල විට කකුලේ සිටි කූඩැල්ලන් ගනන විස්සකට නොඅඩුය. ශනිල්කගේත් මයුරගේත් මෙන් නොව මා හට තිබුනේ කොටන් මේසයක් නිසා ඔවුන් එය හිල් කරගෙන ගොස් තිබූ අතර සමහරක් සාමාන්‍ය ප්‍රමාණයට වඩා කිහිප ගුණයකින් විශාල වූ අතර අලුත උපන් පැටවුන්ද එහි විය.
ඔවුන් ඉවත් කිරීමට ශනිල්ක ගෙනා ඩෙටෝල් භාවිතා කල අතර ලේ ගැලීම නවතින්නට සෑහෙන වෙලා ගත්වීය. සමහර ලේ ගැලීම් පසුවදා නැගිටින විටත් පැවති අතර සෑම තුවාලක් මතම කබොලක් එන්නට තරම් දරුණු වීය. මා මෙය ලියන අවස්තාවේදී ගමන ගොස් සති දෙකක් පමණ ගත වූවත් සමහර කබොලවල් තවමත් ගැලවී නැත.
සිතනවාට වඩා ගමන අපහසු එකක් විය. හතර වටින්ම කලුවර විය. ඒ අතරතුර දර හෝ බෙහෙත් වර්ගයක් කපාගෙන ගමට පැමිණෙන දෙදෙනෙක් හමුවුන අතර ඔවුන් පැවසුවෙ අඩිය ඉක්මන් කර ගියහොත් පැය එකහා මාරකින් පමණ තැනිතලා භූමියක් හමුවන බවයි. අප ඉතා වේගයෙන් ගමන් කලෙමු. පස්වරු 05.20ට පමණ කදවුරු බැදිය හැකි තරමක් කුඩා ජල පහරක් හමුවුවද මගේ හැර අනෙක් දෙදෙනාගේම අදහස වූයේ තැන්න හමුවෙන තෙක් ඉදිරියට යා යුතු බවත්ය. පස්වරු 06 වන තෙක් ඉදිරියට ගමන් කර කදවුරු භූමියක් නොලද හොත් ආපසු පැමිණෙන බවට කතිකා කොට ඉදිරියට ඇදෙමු .පස් වරු 06.00 වන තෙක් ඉදිරියට ගමන් කලත් කිසිදු තැන්නක් නොවීය .අප තැන්න දෙසට ඇදෙන බව කීවේ ශනිල්කගේ දුරකතනයේ ඇති offline map එක පමනී. පසුපසට එන්නද කිසිදු අදහස නොවූ අතර විදුලි පන්දම් දල්වාගෙන ඉදිරියට ගියෙමු. පස්වරු 07.15 වන විටත් කිසිදු කදවුරු භූමියක සේයාවක් නොවීය. අඩි පාරත් ගන කැලෑවත් , කඩා වැටුණු ගසුත් හැරෙන්නට තැන්නක් පිළිබද කිසිදු සාක්ශියක් නොවීය. අස්වැසිල්ලකට තිබුණෙ රත් කන්ද තරණය අවසන් වී කුඩා බෑවුමක් හමුවීමය offline map එකට අනුව ගගක් දෙසට ඇදෙන අප ඉදිරියෙටම ගියෙමු. ප.ව 8.00 පමණ වන විට ජල පහරක ශබ්දයක් ඇසී තරමක් අස්වැසිල්ලකට ලක් වීමු. මද වේලාවකින් වියලි ගල් තලාවක් අසල ඉතා සෙමින් ගලන ඔයක් වීය. ලද අස්වැසිල්ලෙන් ඇගේ තිබූ තෙහෙට්ටු ගතිය පහව ගිය අතර විපරම් කිරීමෙදි අයිනකට වන්නට ඇටවූ අම්බලමක් දිස්වීය. කූඩාරම සවිකර ගිනි මැලයක් දල්වා රාත්‍රි ආහරය ලෙස පානුත් සම්බෝලත් කෑවෙමු. පරිසරය තුල යම් සීතල බක් වුවද එය මහන්සී වී සිටි බැවින් එය නොදැනීය. එය තේරුම් නොගත් මම අම්බලම අසලන් ගලා බසින්( පසුව සොයාගත් පරිදි බත්තුලු ඔය ) ඔයෙන් ඇග සේදිමි. එය මුලු රාත්‍රියෙන් වැඩි කොටසක් වෙව්ලමින් ගත කිරීමට මග පැදීය.
පසුදා උදෑසන 06.30
උදෑසන ආහරය ලෙස නූඩ්ලස්
පින්තූරය ගන්නෙ මම, ජර්සි කැප් එක දාන් ඉන්නෙ මයුර. අනික් කෙනා ශනිල්ක
මෙතනින් පහළට වැටෙන දිය ඇල්ල පැරඩයිස් ඇල්ල වේ
මේ කූඩාරම මම නිර්මාණය කල එකකි. තරමක් අසාර්ථක එකක් වුවද බරින් අඩුවීම සෑහෙන පහසුවකි. කූඩාරම වනා ඇති ඉටි කොලයක් සහිත අම්බලමේ සෑහෙන දර ප්‍රමාණයක් , භාජන සහ පිගන් ප්‍රමාණයක් තිබීම ඉතා පහසුවක් විය. අපද ඉතිරි වූ භූමිතෙල් එහි තබා පැමිණියෙමු.
උදෑසන 8ට පමණ අම්බලමෙන් පිටත්ව ගමන ආරම්භ කලෙමු
ගස් කඩා වැටී අවහිර වුන මග
ඈතට පෙනෙන ශ්‍රී පාදය
මෙම ස්ථානයේ පටන් මා හට නින්ද නොගිය නිසාවෙන්දෝ තරමක උණ ගතියක් විය. මලුව වනතෙක් මගේ බෑගය ශනිල්කද කූඩාරම මයුර විසින්ද රැගෙන යන්නට විය
එදින ඉරිදා දිනයක්ද , පසුදා සදුදා පෝය බැවින්ද ඉතා විශාල තදබදයක් විය. නමුත් මෙම මාර්ගය රත්නපුර මාර්ගයේ කෙලවරිම්ම සම්බන්ද වන බැවින් කිසිදු ගැටලුවක් නොවීය.
රත්නපුර මාර්ගයට සම්බන්ධ වන තැන
පල්ලම් බැසීම සදහා සුපුරුදු නල්ල තන්නි මාර්ගය තෝරා ගත්තෙමු. වෙනදා පැය 3න් පමණ බසින අපට එදා පැය පහකටත් අධික කාලයක් ගත්වීය. පහළට බසින විට රාත්‍රි 8 පමණ වූ අතර නල්ලතන්නිය බස් රථ ගාල අසල ඇති කෑම කඩයෙන් රාත්‍රී ආහර වේලක් ගත්තෙමු. ඒ ආහාර වේල ගද්දී දැනුන හැගීම නම් ලොව ලොව හොදම ආහර වේල ගන්නා පුද්ගලයන් තුන්දෙනා අප ලෙසය. මන්ද අවසන් වරට බත් වේලක රස බැලුවේ සිකුරාදා රාත්‍රීයේ වීමය.
බස් රථයෙන් කොළඹට පැමිනෙන විට උදෑසන 5ට පමණ විය. මේ වනවිට කකුල් ඉදීමි තීබූ අතර ඉදිමුම අඩුවීමට දින තුනක් පමණ ගතවිය.
මුහුණු පොතෙන් සෙට් වෙමු.































































